අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල
කලාපය
පින්
නම් නිධානය
“ප්‍රයෝජනවත්
කටයුත්තක් ඇති වූ කල්හි මට ප්‍රයෝජන පිණිස වන්නේ ය’’ යි පුරුෂයෙක් ගැඹුරු වූ
ජල සමීපයෙහි නිධානයක් නිදන් කරයි.
නොමනා ලෙස කියන ලද කල රජුන්ගෙන් මිදීමට හෝ සොරුන් විසින්
පෙළන ලද කල හෝ ණයෙන් මිදීමට හෝ දුර්භික්ෂයෙහි, ආපදාවක දී හෝ ප්‍රයෝජනයට
ගැනීම පිණිස ලෝකයෙහි නිධාන නම් නිදන් කරනු ලැබේ.
ගැඹුරු
වූ ජල සමීපයෙහි එපමණ මනාකොට පිහිටුවනු ලැබුව ද ඒ සියල්ල හැම කල්හි ඔහුට නො ලැබේ.
නිධානය හෝ තිබූ තැනින් ඉවත් වෙයි. සංඥාව හෝ මඟ හැරෙයි. නාගයෝ හෝ එය ඉවත් කරන්නෝ ය.
යක්ෂයෝ හෝ එය ගෙන යන්නෝ ය.
අප්‍රිය උරුමක්කාරයෝ හෝ ඔහුට නොපෙනී ම ගොඩ ගනිත්. යම්කලෙක
පින් ගෙවේ ද එකල්හි මේ සියල්ල වැනසෙයි.
යම් ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ විසින් දානයෙන් ද, ශීලයෙන් ද, සංයමයෙන් ද, දමනයෙන් ද මනාසේ නිධානයක් කරන ලද්දේ ද,
චෛත්‍යය කෙරෙහි ද, සංඝයා කෙරෙහි හෝ පුද්ගලයකු කෙරෙහි හෝ ආගන්තුකයකු කෙරෙහි ද, මව කෙරෙහි,
පියා කෙරෙහි හෝ තව ද වැඩිමහලු සහෝදරයා කෙරෙහි ද,
මනාසේ කරන ලද මේ නිධානය අනුන් විසින් දිනාගත නො හැකි
ය. සෙස්ස හැරදමා යා යුතු වුව ද මෙය රැගෙන යයි.
මේ තමාට ම විශේෂ වූ
නිධානය සොරුනට පැහැරගත නො හැකි ය. නුවණැත්තා තමා අනුව යන ඒ නිධාන නම් පින් කරන්නේ
ය.
මේ, දෙවිමිනිසුනට සියලු කැමැති දේ දෙන
නිධානය යි. යමක් පතත් ද ඒ සියල්ල මේ හේතුවෙන් ලැබේ.
මනා පැහැති බව, මිහිරි කටහඬ ඇති බව, මනා හැඩ ඇති බව, මනා රූ ඇති බව, අධිපති බව හා පිරිවර යන සියල්ල මේ හේතුවෙන් ලැබේ.
ප්‍රදේශ රාජ්‍යය ද, ඉසුරුමත් බව ද, ප්‍රිය වූ සක්විති සැප ද, දෙව්ලොව දිව්‍ය
රාජ්‍යය ද යන සියල්ල මේ හේතුවෙන් ලැබේ.
යම් මනුෂ්‍ය සම්පත්තියක් වේ ද, දෙව්ලොව යම් කම් සැපතක් වේ ද, යම් නිවන්
සැපතක් වේ ද ඒ සියල්ල මේ හේතුවෙන් ලැබේ.
මිත්‍ර සම්පත්තිය ලබා නුවණින් පිළිපැදීමෙන් විද්‍යා, විමුක්ති, වශී බව යන සියල්ල ද මේ හේතුවෙන්
ලැබේ.
පටිසම්භිදාවන් ද, විමෝක්ෂයන් ද, යම් ශ්‍රාවක පාරමිතාවක් ඇත්නම් එය ද, පසේ
බුදු බව ද, බුද්ධත්වය ද යන සියල්ල මේ හේතුවෙන් ලැබේ.
යම් මේ පුණ්‍ය සම්පත්තියක් වේ ද එය මෙසේ මහත් ප්‍රයෝජන
පිණිස පවතී. එබැවින් පණ්ඩිතයෝ කළ පින් ඇති නුවණැත්තන් පසසත්. ’’
No comments:
Post a Comment