Tuesday, January 19, 2016

Maithree Bhawana

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
 මෙත් බවුන් වඩමු
සැනසීම ලබමු
බ්‍රහ්ම විහාර හතරෙන් පළමුවැන්න මෛත්‍රී භාවනාව යි. මෛත්‍රියෙහි නියම තේරුම ද්වේෂය රහිත බව යනුවෙන් අංගුත්තර අටුවාවෙහි සඳහන් වේ. මෛත්‍රිය යනු අව්‍යාපාදය බව පාලි - සිංහල අකාරාදියෙන් ‍ද පෙනේ.
නැවත නැවත සිහි කරන විට ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදය උපදින විට ප්‍රීතිය උපදියි. එවිට කය සංසිඳෙයි. කය සංසිඳෙන විට සුව විඳියි. එවිට සිත එකඟ වෙයි. එය භාවනාව වෙයි.
බුදුදහම අදත් පවතී. බුදු දහම සාන්දෘෂ්ඨික (තමා විසින් දැකිය හැකි) ය, අකාලික (කල් නොයවා විපාක ලැබේ) ය, ඒහි පස්සික (පැමිණ බලන්න ය යි දැක්වීමට සුදුසු) ය, ඕපනයික (තමන් තම සිත්වල දැරිය යුතු) ය.
බුදුදහම අදටත් වලංගු වන අතර, කෙනකුට වුවමනා නම් බුදුදහමට අනුකූල ව ක්‍රියාකිරීමෙන්, ජීවත් වීමේ දී අත්විඳීමට සිදු වන විවිධ දුක් කරදර මඟහරවා ගෙන ජීවිතය සාර්ථක කර ගත හැකි ය. යටත් පිරිසෙයින් සිහිපත් වන හැම මොහොතක ම 'සුවපත් වේ වා, සුවපත් වේ වා' ය යි මෙනෙහි කිරීම පවා ප්‍රයෝජනවත් වේ.
උදෑසන අවදි වූ මොහොතේ පටන්, දත් මදින, මුහුණ සෝදන, ඇවිදින, වාහනයක වාඩි වී සිටින ආදී වශයෙන්, නිදාගැනීමට ඇඳට ‍ගොඩ වී නින්ද යන තෙක් ම, 'සුවපත් වේ වා, සුවපත් වේ වා' ය යි මෙනෙහි කළ හැකි වාර ගණන අපමණ බවත්, එසේ මෙනෙහි කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන අසීමිත බවත් ඔබට ප්‍රායෝගික ව අත්දැකීමට පිළිවන.
නිවීම, සැනසීම, සංසිඳීම හෙවත් නිවන කරා යනු කැමැතියනට, ඒ සඳහා මෛත්‍රී භාවනාව උපයෝගි කරගත හැකි ය.
අසුරු සනක් පමණ කලක්
මෙත් සිත පුරුදු කරයි නම්
මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සනක් පමණ කාලයක් මෛත්‍රී චිත්තය පුරුදු කරයි නම්, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය පරිදි කරන්නේ, අවවාද පිළිපදින්නේ, රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ අනුභව කරන්නේ ය යි කියනු ලැබේ. යමකු එය බහුල ව කරත් නම් කියනුම කවරේ ද.˜
(අංගුත්තර නිකාය 1හි ඒකක නිපාතයෙහි ප්‍රභාස්වර වර්ගයෙහි තෙවැනි සූත්‍රයෙනි.) (1.6.3)
අසුරු සනක් පමණ කලක්
මෙත් සිත වඩයි නම්
මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සනක් පමණ කාලයක් මෛත්‍රී චිත්තය වඩයි නම්, මහ‍ණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය පරිදි කරන්නේ, අවවාද පිළිපදින්නේ, රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ අනුභව කරන්නේ ය යි කියනු ලැබේ. යමකු එය බහුල ව කරත් නම් කියනුම කවරේ ද.˜
(අංගුත්තර නිකාය 1හි ඒකක නිපාතයෙහි ප්‍රභාස්වර වර්ගයෙහි සිවුවැනි සූත්‍රයෙනි.) (1.6.4)
අසුරු සනක් පමණ කලක්
මෙත් සිත මෙනෙහි කරයි නම්
මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සනක් පමණ කාලයක් මෛත්‍රී චිත්තය මෙනෙහි කරයි නම්, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය පරිදි කරන්නේ, අවවාද පිළිපදින්නේ, රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන සේ අනුභව කරන්නේ ය යි කියනු ලැබේ. යමකු එය බහුල ව කරත් නම් කියනුම කවරේ ද.˜
(අංගුත්තර නිකාය 1හි ඒකක නිපාතයෙහි ප්‍රභාස්වර වර්ගයෙහි පස්වැනි සූත්‍රයෙනි.) (1.6.5)
දානයට වඩා මහත් ඵල
මහණෙනි, යමකු පෙරවරුවෙහි මහ බත් සැළි සියයක් දන් දෙන්නේ ද, මද්දහනෙහි මහ බත් සැළි සියයක් දන් දෙන්නේ ද, පස්වරුවෙහි මහ බත් සැළි සියයක් දන් දෙන්නේ ද,
යමකු පෙරවරුවෙහි යටත් පිරිසෙයින් ගෝ දෝනා (දෙනගේ තනපුඩු එක වරක් අදින) කල් පමණක් මෙත් සිත් වඩන්නේ ද, මද්දහනෙහි ගෝ දෝනා කල් පමණක් මෙත් සිත වඩන්නේ ද, පස්වරුවෙහි ගෝ දෝනා කල් පමණක් මෙත් සිත් වඩන්නේ ද,
මෙය ඒ දානයට වඩා මහත් ඵල ය.˜
(සංයුත්ත නිකාය 2හි ඔපම්ම සංයුත්තයෙහි ඔක්ඛාසත සූත්‍රයෙනි.) (8.1.4)
අමනුෂ්‍යයාට පෙළිය නොහැකි යි
යමකු මෙත්තා චේතෝ විමුක්තිය වඩන ලද ද, බහුල කරන ලද ද, යානයක් මෙන් කරන ලද ද, වාස්තුවක් මෙන් කරන ලද ද, එළඹ සිටියක් කරන ලද ද, පුරුදු කරන ලද ද, බලවත් සේ අරඹන ලද ද, අමනුෂ්‍ය‍යකු ඔහුගේ සිත පෙළිය යුතු ය යි සිතන්නේ නම්, ඒ අමනුෂ්‍යයා වෙහෙසීමට, විඩාවට පත් වන්නේ ය.˜
(සංයුත්ත නිකාය 2හි ඔපම්ම සංයුත්තයෙහි සත්ති සූත්‍රයෙනි.) ( 8.1.5)
මෙත් වැඩීමෙහි ආනිශංස
සේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් කරන ලද, වාස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටියක් කරන ලද, පුරුදු කරන ලද, බලවත් සේ අරඹන ලද, මෛත්‍රීසහගත චිත්ත විමුක්තියෙහි ආනිශංස එකොළොසක් වෙයි.
කවර එකොළොසක් ද යත්,
1.       සුවසේ නිදයි.
2.      සුවසේ පුබුදියි.
3.      පවිටු සිහින නො දකියි.
4.      මිනිසුනට ප්‍රිය වෙයි.
5.      අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි.
6.      දේවතාවෝ රකිති.
7.      ගිනි හෝ විස හෝ ආයුධ හෝ නො වදියි.
8.      වහා සිත එකඟ වෙයි.
9.      මුහුණ ඉතා ප්‍රසන්න වෙයි.
10.     මුළාවට නොපැමිණ කළුරිය කරයි.
11.    මත්තෙහි ඵල ප්‍රතිවේධ නොකළහොත් බඹලොව උපදියි.
 (අංගුත්තර නිකාය 6හි ඒකාදසක නිපාතයට අයත් අනුස්සති වර්ගයෙහි  මෙත්තානිසංස සූත්‍රයෙනි.) (11.2.5)
        මෙසේ මෙත් බවුන් වඩන්න
            අපගේ ඇසට මෙන් ම සිතට ද, නිරතුරු මිනිස්සු ද සත්තු ද ගෝචර වෙති. ඉතින්, පණ ඇති රුවක් ඇසට පෙනුණු, සිතට නැඟුණු හැම විට ම, තම ඇසට, සිතට ගෝචර වූ සත්ත්වයා සුවපත් වේ වා˜ ය යි මෙත් සිත පහළ කරගන්න.
      ඒ සත්ත්වයා ලොකු වුවත්, කුඩා වුවත්, උස වුවත්, මිටි වුවත්, දුර වුවත්, ළඟ වුවත් මෙත් සිතේ වෙනසක් කරගත යුතු නැත.
      සිටින හෝ ඇවිදින හෝ හිඳින හෝ වැතිර සිටින හෝ හැම විට ම මෙසේ මෙත් සිත පහළ කරගැනීමට උත්සාහවත් වන්න.
      ජීවිතයේ ගැටලුවලට මුහුණපෑමට සිදු වන විට, ඔබේ භාවනා කමටහන (භාවනා පදය) තුළින් ඒ දෙස බලා විසඳුම් ලබාගැනීමට උත්සාහ කරන්න.
ජීවිතයත්, භාවනාවත්, භාවනා පදයත් එකක් කරගැනීමට වෑයම් කරන්න.
      විවේකී වේලාවල, විවේකී ව, සුදුසු පරිසරයක පහසු ඉරියව්වකින් හිඳ, හැකි වේලාවක් තමාට ම මෛත්‍රී කරමින් මෛත්‍රී භාවනාවෙහි යෙදෙන්න.
      ඒ සඳහා, මම සුවපත් වෙම් වා ය යි මෙනෙහි කරනු වෙනුවට, තමා ගැන සිහියේ තබාගෙන, සුවපත් වේ වා ය යි මෙනෙහි කරමින්, ඒ මඟින් සිත එකඟ කරගන්න.
භාවනා කිරීම යනු වචන හෝ වචනයක් හෝ සිතෙන් කියමින් ‍සිටීම නොවන බැවින්, වචන ඉක්මවූ සිතේ එකඟ බව ඇති වන තෙක් වීර්යයෙන් භාවනාවෙහි යෙදෙන්න.
     උදේ අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක් කරන, මුහුණ සේදීම, ආහාර ගැනීම, ගමන් කිරීම ආදී සැම කටයුත්තක් ම හැකිතාක් ඔබේ භාවනා පදය මෙනෙහි කරමින් ම සිදු කරන්න.
ඔබේ භාවනාව, භාවනා කිරීමට හිඳගත් ආසනයට පමණක් සීමා නොකර ජීවිතය පුරාවට ම එකතු කරගන්න.
   සුදුසු ගුරු ඇසුර ලැබීමෙන්, මෛත්‍රී භාවනාවෙන් අරඹා, ජීවිතයේ දුක නිවාගැනීමට කටයුතු කිරීම නුවණැත්තනට පහසුවෙන් කළ හැකි වනු ඇත.
Rohitha Wijayathilake's photo.

No comments:

Post a Comment