Tuesday, November 1, 2016

230 ජනයා කෙරෙහි ඇලුණු මිනිසා

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
2016 වප්          සදහම් සෙවණ  230වැනි දහම්පත

------------------------------------------------------------------------------

ජනයා කෙරෙහි ඇලුණු මිනිසා
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි එක්තරා පිරිවැජියකුගේ භාර්යාව වූ ලාබාල තරුණිය ගර්‍භනී වූවා, ප්‍රසූතියට ළං ව සිටියා ය.
ඉක්බිති ඒ පරිබ්‍රාජිකාව එම පිරිවැජියාට මෙය කීවා ය: බ්‍රාහ්මණය, ඔබ යන්න. මගේ ප්‍රසූතියට යමක් උපකාර වන්නේ ද එවැනි තෙලක් ගෙනෙන්න. මෙසේ කී කල්හි පිරිවැජියා ඒ පරිබ්‍රාජිකාවට මෙය කීවේ ය: පින්වතිය, මම කොහෙන් තෙල් ගෙනෙන්නෙම් ද? දෙවනුව ද ඒ පරිබ්‍රාජිකාව පිරිවැජියාට මෙය කීවා ය: බ්‍රාහ්මණය, ඔබ යන්න. මගේ ප්‍රසූතියට යමක් උපකාර වන්නේ ද එවැනි තෙලක් ගෙනෙන්න. දෙවනුව ද පිරිවැජියා ඒ පරිබ්‍රාජිකාවට මෙය කීවේ ය: පින්වතිය, මම කොහෙන් තෙල් ගෙනෙන්නෙම් ද? තෙවනුව ද ඒ පරිබ්‍රාජිකාව පිරිවැජියාට මෙය කීවා ය: බ්‍රාහ්මණය, ඔබ යන්න. මගේ ප්‍රසූතියට යමක් උපකාර වන්නේ ද එවැනි තෙලක් ගෙනෙන්න. තෙවනුව ද පිරිවැජියා ඒ පරිබ්‍රාජිකාවට මෙය කීවේ ය: පින්වතිය, මම කොහෙන් තෙල් ගෙනෙන්නෙම් ද?
ඒ කාලයෙහි පසේනදී කොසොල් රජුගේ ගබඩාවෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ ගිතෙල්, තෙල් සෑහෙන පමණ බීමට දෙනු ලැබේ. ගෙනයෑමට නො දෙයි.

ඉක්බිති ඒ පිරිවැජියාට මේ අදහස විය: පසේනදි කොසොල් රජුගේ ගබඩාවෙහි    ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ ගිතෙල්, තෙල් සෑහෙන පමණ බීමට දෙනු ලැබේ. ගෙනයෑමට නො දෙයි. මම පසේනදි කොසොල් රජුගේ ගබඩාවට ගොස්, මැගේ ප්‍රසූතියට යමක් උපකාර වන්නේ ද ඒ තෙල් සෑහෙන පමණ බී ගෙදර අවුත් වමාරා දෙන්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති ඒ පිරිවැජියා පසේනදි කොසොල් රජුගේ ගබඩාවට ගොස් සෑහෙන පමණ තෙල් බී ගෙදර අවුත්, උඩට ගෙන වමාරන්නට ද නොහැකි වෙයි, විරේක කරන්නට ද නොහැකි වෙයි. හෙතෙම දුක් වූ, දරුණු වූ, රළු වූ, කටුක වූ වේදනාවෙන් පෙළෙන්නේ ඔබමොබ පෙරළෙයි, ආපසු පෙරළෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ දුක් වූ, දරුණු වූ, රළු වූ, කටුක වූ වේදනාවෙන් පෙළෙන, ඔබමොබ පෙරළෙන, ආපසු පෙරළෙන ඒ පිරිවැජියා දුටු සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය වදාළ සේක:
 යම් පුද්ගලයෙක් කෙලෙස් රහිත ද ඒකාන්තයෙන් සුවපත් වූයේ  වෙයි. දත යුත්තේ කෙළවරට ගිය ජනයා වනාහි කෙලෙස් රහිත ය. වෙහෙසෙන, කෙලෙස් සහිත, ජනයා කෙරෙහි ඇලුණු මිනිසා බලන්න.’’
 (ඛුද්දකනිකාය 1හි උදානපාළියෙහි 2. මුචලින්ද වර්ගයෙහි 6. ගර්භනී සූත්‍රයෙනි.)
-------------------------------------------------------------------------------
සකස් කළේ රෝහිත විජයතිලක
-------------------------------------------------------------------------------
අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම, අංක 38
සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානය
දු: 077 021 5583.

No comments:

Post a Comment